විදේශ විනිමය පාලනය කිරීමේ අරමුණින් මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති 50% අධිභාරය සම්බන්ධයෙන් රජය නව නිවේදනයක් නිකුත් කර තිබේ.

2026 මැයි 16 සිට ක්‍රියාත්මක වන පරිදි, ත්‍රීරෝද රථ හැර අනෙකුත් රේගු බදු සහිත වාහන ආනයනය මත 50%ක අධිභාරයක් පැනවීමට රජය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, 2026 මැයි 15 දින හෝ ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කළ වාහන සඳහා මෙම අධිභාරය අදාළ නොවන බව මුලින් ප්‍රකාශ කර තිබුණි.

නමුත් නව ගැසට් නිවේදනයට අනුව, මැයි 15ට පසු එම LC වල වාහන සංඛ්‍යාව, chassis number, වාහන විස්තර හෝ තාක්ෂණික පිරිවිතර සංශෝධනය කළහොත්, එම වාහනද 50% අධිභාරයට යටත් වනු ඇත.

මෙම නව නිවේදනය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් 2026 මැයි 17 දින නිකුත් කර ඇති බව සඳහන් වේ.

රජය පෙන්වා දෙන්නේ, ඇතැම් ආනයනකරුවන් පැරණි LC භාවිත කරමින් නව වාහන ආනයනය කිරීමට හෝ වාහන විස්තර වෙනස් කිරීමට උත්සාහ කිරීම වැළැක්වීම සඳහා මෙම සංශෝධනය සිදු කළ බවයි.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම තීරණය හරහා රජය විදේශ විනිමය පිටවීම පාලනය කිරීමට සහ අනවශ්‍ය වාහන ආනයන සීමා කිරීමට උත්සාහ කරන බවයි.

කෙසේවෙතත්, වාහන ආනයනකරුවන් පවසන්නේ මෙම නව කොන්දේසි හේතුවෙන් දැනටමත් ඇණවුම් කර ඇති වාහන සඳහා අමතර පිරිවැයක් දරාගැනීමට සිදුවිය හැකි බවයි.