බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක අතිශය අවදානම් විය හැකි බව ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.
ඔහු පෙන්වා දෙන්නේ, දැනට පවතින රෝග ව්‍යාප්තියේ වේගය අනුව මෙවර තත්ත්වය 2017 වසරේ පැවති දැඩි ඩෙංගු වසංගතයටත් වඩා බරපතළ විය හැකි බවයි.
රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල් රැසක ධාරිතාව දැඩි ලෙස පීඩනයට ලක්ව ඇති අතර, ඇතැම් ස්ථානවල එක් ඇඳක් මත රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුට ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවීගේ මහත්මිය සඳහන් කළේ වසර ආරම්භයේදීම වර්ධනය වන අවදානම පිළිබඳ සංඥා දක්නට ලැබුණු බවයි. මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වන බැවින්, ඒ සඳහා කල්තබා සූදානම් වීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
ඩෙංගු එන්නත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවසුවේ, රටවල් කිහිපයක එම එන්නත් භාවිතයට අනුමැතිය ලැබී තිබුණද, පවතින වසංගත තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට එම එන්නත් පමණක් ප්‍රමාණවත් නොවන බවයි.
සෞඛ්‍ය අංශ නිකුත් කළ නවතම දත්ත අනුව, මෙම වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 66,064 දෙනෙකු සහ මරණ 46ක් වාර්තා වී තිබේ.
ජූලි මාසයේ ගතවූ පළමු දින නවය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 10,685 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඊයේ දිනයේදී පමණක් නව රෝගීන් 1,030 දෙනෙකු වාර්තා වී ඇත.
වාර්තා වන සමස්ත ආසාදිතයින්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරන දිස්ත්‍රික්කය බවට පත්ව තිබේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව දිවයින පුරා විශේෂ මදුරු මර්දන සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.



