සැප්තැම්බර් මාසය දක්වා විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අවසන් විදුලි ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම ඒකක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට පමණක් එල්ල වන බවයි.
එමෙන්ම අනෙකුත් පාරිභෝගිකයින් සඳහා රජය විසින් රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.
“පවතින ආර්ථික අභියෝග හමුවේ ජනතාවට අමතර බරක් පැටවීම රජයේ අරමුණ නොවේ,” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩොලරයේ අගය ඉහළ යාම සහ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයට බලපෑම් තිබුණද, මේ මොහොතේ ජනතාව මත අමතර බරක් පැටවීමට රජය බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර බොරතෙල් මිල ඉහළ යාම, ඉන්ධන ආනයන වියදම් සහ රුපියලේ අවප්‍රමාණය හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.
කෙසේවෙතත්, ඒකක 180ට අඩු විදුලි පරිභෝජනයක් ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සහන පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, බලශක්ති ක්ෂේත්‍රයේ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, ඉන්ධන පරිභෝජනය කළමනාකරණය සහ විදුලි අලාභ අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද රජය සඳහන් කරයි.



