ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට විශාල පෙරළියක් ඇති කරමින් PayPal සේවාව මෙරට සඳහා පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
අද (16) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම නිවේදනය සිදු කෙරිණි.
මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට PayPal ගිණුම් භාවිතා කළ හැකිව තිබුණේ විදේශ ගෙවීම් යැවීම සඳහා පමණක් වූ අතර, විදේශයන්ගෙන් මුදල් ලබාගැනීමේ පහසුකම නොතිබීම නිසා Freelancers, IT සේවා සපයන්නන්, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් සහ Online ව්‍යාපාරිකයන්ට විශාල බාධාවක් පැවතිණි.
නව සේවා පුළුල් කිරීමත් සමඟ, අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන ශ්‍රී ලාංකිකයන්ට තම ඉපැයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබාගැනීමට හැකි වනු ඇත.
මෙම පියවර හේතුවෙන් නිල විදේශ විනිමය ආදායම ඉහළ යාමටත්, E-commerce, Startups සහ SME ව්‍යාපාර සඳහා නව අවස්ථා විවෘත වීමටත් අපේක්ෂා කරන බව රජය සඳහන් කරයි.
ආරම්භක අදියරේදී ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව හරහා මෙම PayPal පහසුකම් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී අනෙකුත් බැංකුද මෙම වැඩසටහනට එක්වීමට නියමිත බව වාර්තා වේ.
1998දී ආරම්භ කළ PayPal ආයතනය අද වනවිට ලොව විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවන්ගෙන් එකක් ලෙස සැලකෙන අතර, රටවල් 200කට අධික සංඛ්‍යාවක පරිශීලකයන් මිලියන 430කට වැඩි පිරිසකට සේවා සපයයි.
විශේෂයෙන්ම Upwork, Fiverr, Freelancer.com සහ Amazon වැනි ජාත්‍යන්තර වේදිකාවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙම තීරණය විශාල සහනයක් වනු ඇති බව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අදහස වී ඇත.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම පියවර ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයාමේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, තරුණ ව්‍යවසායකයන් සහ තාක්ෂණික සේවා සපයන්නන් සඳහා ගෝලීය වෙළෙඳපොළට සෘජුව සම්බන්ධ වීමට අවස්ථාවක් සලසා දෙන බවයි.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, PayPal සේවාව සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම මෙරට ඩිජිටල් මූල්‍ය පද්ධතිය සහ අන්තර්ජාල ආර්ථිකය නව මට්ටමකට ගෙනයන වැදගත් පියවරක් වනු ඇති බවයි.



