පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණ ක්‍රමය යළි ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දන්වා තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත යොමු කළ නිල ලිපියක් මගිනි.
ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව IMF විධායක මණ්ඩලය මැයි 27 වැනිදා එම සමාලෝචන සඳහා අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මූල්‍ය සහාය හිමි වූ අතර, එය මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන අරමුදල්වල කොටසකි.
වාර්තා වන පරිදි, මැයි 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සන් සහිතව මෙම ලිපිය IMF වෙත යොමු කර තිබේ.
එහි සඳහන් වන්නේ IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවයි.
එමෙන්ම ඉන්ධන සහනාධාර ඇතුළු සහන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල රුපියල් බිලියන 100ක සීමාවක් තුළ පවත්වාගෙන යන බවත්, එම ගෙවීම් සැප්තැම්බර් මාසය අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.
IMF වැඩසටහන යටතේ සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ වැඩසටහන් පුළුල් කිරීම, බලශක්ති ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ණය තිරසරභාවය, මිල ස්ථාවරත්වය සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණු අතර වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.



