2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයක් නැවත රට තුළ ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යම් පීඩනයක් එල්ලවී ඇතත්, එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට වත්මන් රජයට ප්‍රමාණවත් ශක්තිය සහ සැලසුම් ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ අම්පාර නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

1999 වසරේ ආරම්භ කළ මෙම සංස්කෘතික මධ්‍යස්ථාන ව්‍යාපෘතිය 2014 වසරේ සිට සම්පූර්ණයෙන් නතර වී තිබූ අතර, වසර 24කට පසුව එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබීම විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 945කට අධික වන අතර, 2026 අයවැය යටතේ රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බවද සඳහන් වේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් රජය බලයට පත්කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, දූෂිතයන්ට දඬුවම් ලබාදීම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම සහ දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීම බවයි.

එම අරමුණු වෙනුවෙන් මේ වනවිට රජය සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවද ඔහු පැවසීය.

“අපි ජනතාව අසීරුතාවට පත්වූ අවස්ථාවේ ජනතාව බලාගන්නා ආණ්ඩුවක්. මැදපෙරදිග යුද තත්ත්වය හමුවේත් ජනතාවට සහන ලබාදීමට අපි විශාල මුදලක් වෙන් කළා,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, මැදපෙරදිග කලාපයේ උණුසුම් යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයන වියදම් ඉහළ ගොස් ඇති බවත්, ඒ සමඟ ආනයනික භාණ්ඩ රැසක මිල ගණන්වලද බලපෑම් ඇතිවී ඇති බවයි.

එමෙන්ම සංචාරක කර්මාන්තයට සහ ඇතැම් අපනයන ආදායම්වලටද එම තත්ත්වය බලපා ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, 2022 වසරේ මෙන් රට තුළ ඩොලර් හිඟයක් හෝ රාජ්‍ය මූල්‍ය කඩා වැටීමක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

“2022දී මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50ක් පමණයි. අද මහ බැංකුව සතුව ඩොලර් මිලියන 7,000කට ආසන්න සංචිතයක් තිබෙනවා. තවත් ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිතයි,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, කිරිපිටි සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවටද ජනාධිපතිවරයා ජනතාවට සහතික විය.

“එදා වගේ ඉන්ධන පෝලිම්, ගෑස් හිඟ, කිරිපිටි හිඟ යළි ඇතිවෙන්නේ නැහැ. අපිට යම් පීඩනයක් තිබෙනවා. ඒත් අපි ඒක කළමනාකරණය කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, වත්මන් රජය යටතේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, බලය, ධනය හෝ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්ය.

දේශපාලකයන්ගේ විශ්‍රාම වැටුප් සහ අසීමිත වරප්‍රසාද කප්පාදු කරමින් දේශපාලනය ජනතාවට සේවය කරන වගකීමක් බවට පත්කිරීමට රජය පියවර ගෙන ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.