ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් සොයා බැලීම මෙහිදී සිදු වූ බවයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම්, නීති ප්‍රතිසංස්කරණ සහ කර්මාන්තයට ලබාදිය හැකි සහාය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබේ.

කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීම මගින් අපනයන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම වැඩපිළිවෙළ සඳහා ආයෝජකයන් එක්වන ලෙසද ආරාධනා කර ඇත.

දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබූ අතර, ඒ සඳහා ලබාදිය හැකි විකල්ප සහන සම්බන්ධයෙන් යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට දැනුම් දී තිබේ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නැංවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

එමෙන්ම, අයථා ලෙස උපයන මුදල් රටින් පිටතට ගලායාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.