මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත විය.

දෙවන වර කියවීමෙන් අනතුරුව පැවැත්වූ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමි වූ අතර, විරුද්ධව ඡන්ද දෙකක් ප්‍රකාශ විය.

මෙම පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීම ද අදම පාර්ලිමේන්තුවේදී විවාදයට සහ ඡන්ද විමසීමට නියමිතය.

මෙය ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ මාලාවේ කොටසකි.

පසුගිය අඟහරුවාදා (07) අමාත්‍ය මණ්ඩලය මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.

එම සංශෝධන නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සහ ඉදිරිපත් වූ නිර්දේශ සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව තිබේ.