විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමේ අරමුණින්, ජූනි 27 සිට 29 දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා ඉල්ලීමක් කර තිබේ.
අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා මෙම තාවකාලික පියවර ගෙන ඇති බවයි.
ඔහු පෙන්වා දුන්නේ, විශාල ධාරිතාවයකින් යුත් වහල මත සූර්ය පැනල පද්ධතිවලින් ජාලයට එක්වන විදුලි ප්‍රමාණය තාවකාලිකව අඩු කිරීම මඟින් පසුගිය වෙසක් සමයේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමක් වැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවයි.
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ විදුලි ජාලයේ සමතුලිතතාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, ඒකක 300ට වැඩි වහල මත සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයන්ගෙන් ජූනි 27 සිට 29 දක්වා එම පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කර සහය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටී.



