අද (05) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති වන බවත්, ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නවතම කාලගුණ අනාවැකියට අනුව, සබරගමුව පළාත සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.
කාලගුණයේ වෙනස්කම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී ඇත.



