සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (31) සිට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ අරමුණින් පසුගිය මැයි 15 වැනිදා නිකුත් කළ විශේෂ චක්‍රලේඛයක් මගින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබුණි.
අදාළ චක්‍රලේඛයට අනුව, මැයි 31 වැනිදා සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.
එමෙන්ම, තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය ආයතන තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සියලු ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බවද චක්‍රලේඛයේ සඳහන් වේ.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම නව චක්‍රලේඛයට අමතරව 2025 අප්‍රේල් 2 වැනිදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධිවිධානද තවදුරටත් බලාත්මක වන බවයි.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්” (3R) සංකල්පයට අනුගත විය යුතු අතර, අවම කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) ප්‍රවර්ධනය කළ යුතු වේ.
මෙම චක්‍රලේඛය පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



