ඇමෙරිකාවේ සිට නාවික සැතපුම් 12,000කට අධික දුරක් ගෙවා සිදු කළ ඓතිහාසික ගමනකින් අනතුරුව SLNS සමුද්‍රවිජය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් එක් කිරීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක අංශ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ගමන ශ්‍රී ලංකා නාවික හමුදාවක කණ්ඩායමක් විසින් නෞකාවක් මෙරටට රැගෙන ඒම සඳහා සිදු කළ දීර්ඝතම නාවික ගමන ලෙස වාර්තා අතරට එක්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවක් විසින් පැනමා ඇළ හරහා ගමන් කළ පළමු අවස්ථාවද මෙය ලෙස සැලකේ.

මෙම නෞකාව මීට පෙර ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ සේවය කළ USCGC Decisive නෞකාව වූ අතර, ඇමෙරිකාවේ Excess Defense Articles Program යටතේ ශ්‍රී ලංකාව වෙත පවරා දී ඇත.

බැල්ටිමෝර් නගරයේ පිහිටි ඇමෙරිකානු වෙරළාරක්ෂක නාවික අංගනයේදී නෞකාව ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාවට භාරදීමට පෙර විශේෂ නඩත්තු කටයුතුද සිදුකර තිබිණි.

නාවික විශේෂඥයින් පෙන්වා දෙන්නේ SLNS සමුද්‍රවිජය නෞකාව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇති බවයි. මෙම නෞකාව මඟින් මුහුදු සීමා නිරීක්ෂණය, නීති විරෝධී මසුන් ඇල්ලීම් වැළැක්වීම, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම මානුෂීය සහන මෙහෙයුම් ද ක්‍රියාත්මක කළ හැකි වේ.

ජනාධිපතිවරයා සහ උසස් නාවික නිලධාරීන් ඉදිරියේ පැවති උත්සවයේදී අදහස් දැක්වූ ඇමෙරිකානු වැඩබලන තානාපති ජේන් හෝවෙල් මහත්මිය සඳහන් කළේ මෙම නෞකාව දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාවයේ සංකේතයක් බවයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වැදගත් ස්ථානයක පිහිටා ඇති අතර, කලාපීය ආරක්ෂාව සහ නිදහස් සමුද්‍රීය ගමනාගමනය තහවුරු කිරීම සඳහා මෙවැනි සහයෝගීතා ඉතා වැදගත් බවයි.

SLNS සමුද්‍රවිජය නෞකාව බැල්ටිමෝර් වරායෙන් පෙබරවාරි 20 වැනිදා පිටත්ව ගොස් අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දීය සාගරයන් හරහා ගමන් කරමින් ලොව මහාද්වීප කිහිපයක් පසුකර ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ.

ගමන අතරතුරදී ඇමෙරිකාවේ Key West, Los Angeles, Honolulu සහ Guam යන ස්ථානවල නවතා සැපයුම් ලබාගත් අතර, ඇමෙරිකානු නාවික සහ වෙරළාරක්ෂක නිලධාරීන් සමඟද සම්බන්ධතා පවත්වා තිබේ.

SLNS සමුද්‍රවිජය නෞකාව සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව දැන් ඇමෙරිකාවෙන් පවරා දුන් වෙරළාරක්ෂක නෞකා හතරක් පවතී. මීට පෙර සේවයට එක් කළ SLNS සමුදුර, SLNS ගජබාහු සහ SLNS විජයබාහු නෞකාද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම නෞකා ඉතා කාර්යක්ෂමව නඩත්තු කරමින් මෙහෙයවීම හේතුවෙන් සිව්වන නෞකාව පවරා දීමට විශ්වාසය ගොඩනැගුණු බවයි.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම නව නෞකාව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීමට පමණක් නොව, කලාපීය ස්ථාවරත්වය, වෙළෙඳ මාර්ග ආරක්ෂාව සහ ජාත්‍යන්තර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමටද වැදගත් වනු ඇති බවයි.