බගවන්තලාව සිට නුවරඑළිය බලා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් අනතුරකට ලක්ව තිබේ.
අද (16) පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පවසන්නේ, අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය තෙත් මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගය අසල තිබූ දුරකථන රැහැන් කණුවක ගැටී නතර වූ බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර තිබූ අතර, වාසනාවකට මෙන් ඔවුන්ට කිසිදු බරපතළ තුවාලයක් සිදුව නොමැති බව වාර්තා වේ.
අනතුරෙන් කැබ් රථයට දැඩි අලාභ සිදුව ඇති අතර, එහි පසුපස රෝදයක්ද ගැලවී ගොස් තිබේ. දුරකථන කණුවටද හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
පසුගිය දින කිහිපය පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග තෙත් සහ ලිස්සනසුලු තත්ත්වයක පැවතීම මෙවැනි අනතුරු වැඩිවීමට බලපා ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
විශේෂයෙන් කඳුකර මාර්ගවලදී අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වළකින ලෙසත්, වැසි සහ මීදුම් තත්ත්වයන් හමුවේ වැඩි අවධානයකින් රිය පැදවිය යුතු බවත් පොලීසිය රියදුරන්ට දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.



