ව්‍යාජ රථවාහන දඩ පණිවිඩ භාවිත කරමින් ජනතාවගේ පුද්ගලික සහ බැංකු තොරතුරු සොරකම් කිරීමේ සයිබර් වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Sri Lanka CERT සඳහන් කළේ, මාර්ගවල සවිකර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන ඇති බවට සඳහන් කරමින් මෙම වංචාකාරී SMS සහ WhatsApp පණිවිඩ යොමුකරන බවයි.
මෙම පණිවිඩ ශ්‍රී ලංකා පොලීසියේ නිල දැනුම්දීම් ලෙස පෙනෙන ආකාරයට සකස් කර ඇති අතර, ජනතාව මුළා කර ඔවුන්ගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු ලබාගැනීම මෙහි අරමුණ බවද සඳහන් වේ.
වංචාකරුවන් ව්‍යාජ දුරකථන අංක සහ අහිතකර links භාවිත කරමින් ශ්‍රී ලංකා පොලීසියේ නිල පණිවිඩ ලෙස පෙනෙන ආකාරයට මෙම පණිවිඩ බෙදාහරින බව අනාවරණය වී තිබේ.
මෙම පණිවිඩ මඟින් ජනතාව ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කර රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස දැනුම් දෙන බව Sri Lanka CERT පෙන්වා දෙයි.
එම ව්‍යාජ වෙබ් අඩවි රජයේ නිල “GovPay” ගෙවීම් පද්ධතියට ඉතා සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති බැවින්, ජනතාව පහසුවෙන් මුළා වීමේ දැඩි අවදානමක් පවතින බවද සඳහන් කරයි.
මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි හරහා ගෙවීම් සිදුකිරීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ debit සහ credit card තොරතුරු, OTP කේත, ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ අනෙකුත් සංවේදී දත්ත සයිබර් අපරාධකරුවන් අතට පත්විය හැකි බවද Sri Lanka CERT අනතුරු අඟවයි.
ඒ අනුව මහජනතාවට පහත ආරක්ෂක උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙස දැනුම් දී ඇත.
🔹 SMS හෝ WhatsApp හරහා ලැබෙන සැකසහිත links මත click නොකරන්න.
🔹 කිසිදු ගෙවීමක් කිරීමට පෙර වෙබ් අඩවියේ නිරවද්‍යතාව තහවුරු කරන්න.
🔹 නොදන්නා හෝ සැකසහිත වෙබ් අඩවි වෙත බැංකු හෝ card තොරතුරු ලබා නොදෙන්න.
🔹 OTP කේත හෝ පුද්ගලික තොරතුරු කිසිදු තෙවන පාර්ශ්වයකට ලබා නොදෙන්න.
🔹 සැකසහිත පණිවිඩ හෝ වෙබ් අඩවි වහාම Sri Lanka CERT හෝ ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දෙන්න.
Sri Lanka CERT වැඩිදුරටත් සඳහන් කළේ, “GovPay” පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් සිදුකළ යුත්තේ පොලිස් නිලධාරියෙකු විසින් නිල රථවාහන දඩ පත්‍රිකාවක් ලබාදීමෙන් පසුව පමණක් බවයි.
නිල නොවන SMS හෝ WhatsApp පණිවිඩ හරහා පැමිණෙන links භාවිත කර කිසිදු ගෙවීමක් නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
සයිබර් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ, පසුගිය කාලය තුළ රජයේ ආයතන සහ විශ්වාසනීය සේවා අනුකරණය කරමින් සිදුකරන මූල්‍ය වංචා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
Sri Lanka CERT සියලුම අන්තර්ජාල සහ ඩිජිටල් සේවා භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි සයිබර් වංචා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.



