ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වෙමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,189 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මදුරු බෝවීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් දිවයින පුරා ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ, දෛනිකව ඩෙංගු රෝගීන් 950ත් 1,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
පසුගිය පැය 24 තුළ පමණක් නව ඩෙංගු ආසාදිතයන් 1,030ක් හඳුනාගෙන ඇති අතර, රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
ඩෙංගු මර්දන වැඩසටහන් ඉදිරි දින තුන පුරා දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සක්‍රීය සහයෝගය අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.
නිවාස, පාසල්, රාජ්‍ය ආයතන සහ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව ජලය රැඳෙන ස්ථාන ඉවත් කර මදුරු බෝවීම වැළැක්වීමට කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.



