ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 56,422 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.

නවතම දත්ත අනුව, ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම, පසුගිය පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති අතර, රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මදුරු බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින්, නිවාස සහ අවට පරිසරයේ ජලය රැඳෙන ස්ථාන ඉවත් කර මදුරු බෝවීම වැළැක්වීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවයි.