අගෝස්තු මාසය දක්වා රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද මේ වනවිට ඇණවුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

මෙහිදී ඉදිරියේදී ජනතාවට ඉන්ධන සහන ලබාදීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, දැනට ක්‍රියාත්මක ඔත්තේ–ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ විදේශ විනිමය පීඩනය හේතුවෙන් බලශක්ති කළමනාකරණය රජයේ ප්‍රමුඛ අභියෝගයක් වී ඇති බවද මෙහිදී අවධාරණය වී ඇත.

විදුලි පරිභෝජනය තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් “Clean Sri Lanka” වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද යෝජනා වී තිබේ.

එමෙන්ම විදුලි පරිභෝජනය නිසි ලෙස කළමනාකරණය කරන නිවෙස් තෝරාගෙන පාසල් දරුවන් ඇගයීමට ලක්කිරීම සහ බලශක්ති ඉතිරිකිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇත.

අනාගත ඉදිකිරීම් සඳහා “Green Building” සංකල්පය හඳුන්වාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, රජය විසින් බලශක්ති කළමනාකරණය සාර්ථකව සිදුකළ නිසා ජනතාවට විශාල බලපෑමක් නොමැතිව පවතින අර්බුදය කළමනාකරණය කරගෙන යාමට හැකි වූ බවයි.

විශේෂයෙන් ඉන්ධන භාවිතය පාලනය කිරීම, විදුලි පරිභෝජනය අඩු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම හරහා දිගුකාලීන බලශක්ති ස්ථාවරතාවයක් ඇති කිරීම රජයේ අරමුණ බවද එහිදී අවධාරණය කර තිබේ.