2016 වසරේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ ඇති චෝදනා විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවලංගු කර තිබේ.
ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසිනි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක එකඟත්වය ද මෙම තීන්දුවට හිමිව තිබේ.
මෙම නඩුව යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් සඳහන් කර ඇත්තේ අර්ථ නිරූපණ ආඥා පනත අනුව සමාගමක් ද “පුද්ගලයෙකු” ලෙස සලකා බැලිය හැකි බැවින් පොදු දේපළ පනත යටතේ එයට එරෙහිව චෝදනා පවත්වාගෙන යා හැකි බවයි.
එමෙන්ම ස්වභාවික පුද්ගලයින් පමණක් නොව සමාගම් සහ ආයතන හරහාද සංකීර්ණ මූල්‍ය වංචා සිදුවිය හැකි බවත්, එවැනි ක්‍රියාවන් මහජන දේපළවලට දැඩි හානි සිදු කළ හැකි බවත් අධිකරණය පෙන්වා දී ඇත.
ඒ අනුව අදාළ නඩුව හැකි ඉක්මනින් විභාගයට ගෙන ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබාදී තිබේ.



