ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2026 වසරේදීද වර්ධන මාවතේ පවතින බව පෙන්නුම් කරමින් මැයි මාසය තුළ පමණක් සංචාරකයින් 145,745 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ මැයි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 132,919ට සාපේක්ෂව මෙය සියයට 9.65ක වර්ධනයක් ලෙස සටහන් වී තිබේ.

මැයි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 60,342කි. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 41කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරයි.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,248 දෙනෙකු, චීනයෙන් 9,156 දෙනෙකු, ජර්මනියෙන් 6,734 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාවෙන් 6,414 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ද වාර්තා වේ.

මේ අතර, 2026 වසරේ ජනවාරි 01 සිට මැයි 31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,022,022ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ මෙම වර්ධනය රටේ විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීමට සහ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට සහාය වනු ඇතැයි සංචාරක ක්ෂේත්‍ර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.