ත්‍රිකුණාමල වෙරළට නාවික සැතපුම් තුනක පමණ දුරින් ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි පියෙකු සහ පුත්‍රයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව බේරාගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයෙකු වන එහි හිමිකරු බවට සැලකෙන අයෙකු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
අදාළ තිදෙනා ජූලි 3 වැනිදා උදෑසන ධීවර කටයුතු සඳහා මුහුදට පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව යාත්‍රාව මුහුදේදී අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු ලැබී තිබේ.
චයිනා බේ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව වහාම සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එහිදී පියා සහ පුත්‍රයා ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට හැකි වී ඇත.
අතුරුදන්ව සිටින අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව සහ අදාළ අංශ එක්ව වැඩිදුර සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.



