ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක ආනයන බදු පැනවීමේ යෝජනාවක් අමෙරිකානු පරිපාලනය විසින් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යෝජනාවට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45කට සියයට 12.5ක අමතර ආනයන බද්දක් පැනවීමට සැලසුම් කර ඇති අතර, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් කිහිපයකට සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා වී තිබේ.
අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) පෙන්වා දෙන්නේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නීතිමය සහ නියාමන ක්‍රියාමාර්ග ගෙන නොමැති රටවල් සම්බන්ධයෙන් මෙම පියවර සලකා බලන බවයි. එමගින් අමෙරිකානු වෙළෙඳපොළ තුළ අසාධාරණ තරගකාරීත්වයක් ඇතිවන බව ද එම ආයතනය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී බලහත්කාර ශ්‍රමය මගින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ ඒවාට එරෙහි නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට, විශේෂයෙන්ම ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයට බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේවෙතත්, ඇඟලුම් සහ රෙදිපිළි ආනයන සඳහා අඩු බදු අනුපාත යටතේ යම් ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට ඉඩ සලසන විශේෂ යාන්ත්‍රණයක් ද යෝජනා කර ඇති බව සඳහන් වේ.
අමෙරිකානු බලධාරීන් මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ජූලි 6 වනදා දක්වා භාර ගැනීමට නියමිත අතර, ජූලි 7 වනදා මහජන විභාගයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.
මෙම ක්‍රියාවලියේ අවසන් තීරණය ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාම සහ අමෙරිකාව සමඟ පවතින වෙළෙඳ සබඳතා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව විශේෂඥයින්ගේ අදහසයි.



