වාහන ආනයනය සඳහා පනවා ඇති අධිභාර තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතවල සිදුවන වෙනස්කම් හේතුවෙන් ඉදිරි කාලයේදී මෙරට වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අතර, මහ බැංකුව විසින් ගෙන ඇති නව ණය සීමා තීරණ හේතුවෙන් වාහන වෙළෙඳපොළ තුළ දැඩි අවිනිශ්චිතතාවක් මතුව ඇති බව Vehicle Importers Association of Sri Lanka සඳහන් කරයි.
වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ලීසිං සහ ණය පහසුකම්වල උපරිම සීමාව අඩු කිරීම නිසා පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව සෘජුවම පහළ යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, Loan to Value (LTV) අනුපාතිකය අඩු කිරීමෙන් වාහන ආනයනය සහ මිලදී ගැනීම් සීමා වීමක් සිදුවන බවයි.
“ලීසිං වැලියු එක අඩු වුණාම මනුස්සයෙකුට වාහනයක් ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ එයාගේ affordability එක පහළ යනවා,” යනුවෙන් ඔහු පැවසීය.
මේ අතර, සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, මෙවැනි තීරණ හදිසියේ ක්‍රියාත්මක කිරීම වෙළෙඳපොළට දැඩි බලපෑමක් ඇතිකරන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, මෙතෙක් වාහනයක වටිනාකමින් 50%ක් දක්වා ලීසිං පහසුකම් ලබාදුන් අතර, එය හදිසියේ 40% දක්වා අඩු කිරීමෙන් දැනට ආනයනය කර ඇති වාහන විකිණීමද අපහසු වන බවයි.
රී ලංකා මහ බැංකුව ඊයේ (24) නිකුත් කළ නිවේදනයකට අනුව, ලියාපදිංචි නොකළ සහ වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා නව උපරිම LTV අනුපාතිකයන් අද (25) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, වාණිජ වාහන සඳහා ලබාදිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමෙන් 60% දක්වා පහළ දමා ඇත.
මෝටර් රථ, SUV, වෑන්, ත්‍රීරෝද රථ සහ අනෙකුත් පුද්ගලික වාහන සඳහා ලබාදෙන උපරිම ලීසිං පහසුකම වාහනයේ වටිනාකමෙන් 40% දක්වා අඩු කර තිබේ.
මෙම නව නීති අනුව, ලියාපදිංචි නොකළ හෝ වසරකට අඩු කාලයක් භාවිත කළ වාහනයක් මිලදී ගැනීමේදී, අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින්ම ගෙවිය යුතු වේ.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම පියවර ගෙන ඇත්තේ විදේශ විනිමය පිටතට ගලායාම පාලනය කිරීම සහ වාහන ආනයනය මන්දගාමී කිරීමේ අරමුණින් බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණ හේතුවෙන් වාහන වෙළෙඳපොළ තුළ මිල ගණන් ඉහළ යාමක් මෙන්ම, පාරිභෝගික ඉල්ලුම අඩුවීමක්ද සිදුවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.



