ජංගම දුරකථනයක් අස්ථානගත වීම හෝ සොරකම් වීමේ අවස්ථාවකදී ජනතාව අනිවාර්යයෙන්ම ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
පොලීසිය පවසන්නේ ජංගම දුරකථනයක් වෙනත් අයෙකුගේ අතට පත්වීමෙන් පුද්ගලික තොරතුරු, බැංකු දත්ත, ඡායාරූප සහ සංවේදී තොරතුරු අවභාවිතා වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
ඒ අනුව දුරකථනය නැති වූ වහාම සිම්පත අක්‍රීය කිරීමට අදාළ දුරකථන සේවා සපයන ආයතනය සම්බන්ධ කරගත යුතු බව පොලීසිය දැනුම් දෙයි.
එමෙන්ම දුරකථනයේ IMEI අංකය කලින් සටහන් කර තබා ගැනීම වැදගත් බවත්, *#06# කෙටි යෙදුම භාවිතයෙන් එය ලබාගත හැකි බවත් සඳහන් වේ.
IMEI අංකය මඟින් අදාළ ජංගම දුරකථනය හඳුනාගැනීමට සහ විමර්ශන කටයුතු පහසු කිරීමට හැකිවන බවද පොලීසිය පෙන්වා දෙයි.
අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වාදුන් “I Need” මෘදුකාංග පද්ධතිය භාවිත කළ හැකි අතර, ineed.police.lk වෙබ් අඩවිය හරහා ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
පොලීසිය ජනතාවට උපදෙස් දෙන්නේ,
ජංගම දුරකථනයට Password / PIN / Fingerprint ආරක්ෂාව යොදාගැනීම,
Online banking සහ digital wallet සේවා සඳහා two-factor authentication භාවිත කිරීම,
Cloud backup සහ “Find My Device” වැනි tracking සේවා සක්‍රීය කර තබා ගැනීම
වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ගද අනුගමනය කරන ලෙසයි.
2024 සහ 2025 වසරවලදී අස්ථානගත වූ දුරකථන දහස් ගණනක් සොයාගෙන හිමිකරුවන් වෙත භාරදීමට හැකි වූ බවද පොලීසිය සඳහන් කරයි.



