කෘතිම බුද්ධි (AI) තාක්ෂණය මත අධික ලෙස යැපීම හේතුවෙන් මිනිසුන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවිය හැකි බව Royal Observatory අනතුරු අඟවයි.
එම ආයතනයේ ප්‍රධානී Paddy Rodgers පවසන්නේ, AI මෙවලම් සැනෙකින් පිළිතුරු ලබාදෙන නිසා මිනිසුන්ට ප්‍රශ්න කිරීමේ, ගවේෂණය කිරීමේ සහ නව දේ සෙවීමේ කුතුහලය අඩුවීමේ අවදානමක් පවතින බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, පැරණි විද්‍යාඥයන් පරිගණක නොතිබූ කාලයේදී දීර්ඝ නිරීක්ෂණ, අත්සටහන් සහ අත්හදා බැලීම් මඟින් විද්‍යාවට විශාල දායකත්වයක් ලබාදුන් බවයි.
“ඉක්මන් පිළිතුරු ලැබීම පහසු වුණත්, ඒ නිසා ගැඹුරු ලෙස සිතීමේ පුරුද්ද අඩුවීමේ අවදානමක් තියෙනවා,” යැයි ඔහු සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, AI තාක්ෂණය සම්පූර්ණයෙන්ම අහිතකර නොවන බවද විද්‍යාඥයන් පෙන්වා දෙයි. AlphaFold2 වැනි AI මෙවලම් මඟින් විද්‍යාත්මක සොයාගැනීම් රැසක් සිදු වී ඇති අතර, නිවැරදි ලෙස භාවිත කළහොත් AI මගින් ඉගෙනීම සහ නිර්මාණශීලී සිතීම වර්ධනය කළ හැකි බවද ඔවුන් පවසයි.
තාක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, AI භාවිතයේදී “assistive tool” එකක් ලෙස එය භාවිත කිරීම වැදගත් බවයි. එනම්, AI ලබාදෙන පිළිතුරු අන්ධ ලෙස භාවිත නොකර, ඒවා විමර්ශනය කිරීම, තර්ක කිරීම සහ ස්වයං චින්තනය සමඟ භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.
විශේෂයෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ AI භාවිතය වේගයෙන් ව්‍යාප්ත වන අවස්ථාවක, විවේචනාත්මක චින්තනය (critical thinking) සහ ගැටලු විසඳීමේ හැකියාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගෝලීය අවධානයක් යොමුව තිබේ.



