ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (12) දිනයේදී නැවතත් ඉහළ යාමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 101 සීමාව ද පසුකර තිබුණි.
වෙළෙඳපොළ දත්ත අනුව මෙම මිල ඉහළ යාම පෙර දිනයට සාපේක්ෂව සියයට 3ක පමණ වර්ධනයක් ලෙස සැලකේ. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, පසුගිය සති කිහිපය තුළ පැවති අස්ථාවරත්වයෙන් අනතුරුව වෙළෙඳපොළ නැවතත් ආරක්ෂිත සැපයුම් පිළිබඳ අවධානය යොමුකරමින් සිටින බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර පවතින ආතතිකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාවයක් නැවතත් මතුවී ඇති බවයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමේ අවදානම හේතුවෙන් තෙල් ප්‍රවාහන මාර්ග සහ අපනයන ක්‍රියාදාමයන්ට බලපෑම් එල්ල විය හැකි බවට වෙළෙඳපොළ තුළ සැලකිල්ලක් මතුව තිබේ.
මේ අතර, යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ ආයෝජකයින් අතර දැඩි අවධානයක් යොමුව ඇති බව විශ්ලේෂකයින් සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ගෝලීය ප්‍රවාහන වියදම්, විදුලි නිෂ්පාදන පිරිවැය සහ භාණ්ඩ මිල ගණන් කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි.
විශේෂයෙන් ඉන්ධන ආනයනය මත දැඩි ලෙස රඳාපවතින ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මෙම තත්ත්වය විදේශ විනිමය පීඩනය තවදුරටත් ඉහළ නැංවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර, ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ ඉදිරි දින කිහිපය තුළද දේශපාලන සහ යුධමය වර්ධනයන් මත දැඩි උච්චාවචනයකට ලක්විය හැකි බව වෙළෙඳපොළ නිරීක්ෂකයින් පවසයි.



