හෝමුස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් සෘජු ගාස්තු අය නොකරන නමුත්, එම මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන ආරක්ෂක සහ නාවික සේවාවන් සඳහා අදාළ මුදල් අයකරනු ලබන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශක එස්මයිල් බගේයි සඳහන් කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, ඉරානය සහ අමෙරිකාව අතර පවතින සංවේදී සාකච්ඡා සහ හෝමුස් සමුද්‍රසන්ධිය සම්බන්ධ ගෝලීය අවධානය තවදුරටත් ඉහළ යමින් පවතින අවස්ථාවකදීය.
ලෝකයේ වැදගත්ම බොරතෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් මෑත සතිවලදී විශාල අවධානයක් යොමුව තිබේ.
ගෝලීය බොරතෙල් සැපයුමේ විශාල ප්‍රමාණයක් මෙම සමුද්‍ර මාර්ගය හරහා ගමන් කරන බැවින්, එහි සිදුවන ඕනෑම අර්බුදයක් ලෝක ආර්ථිකයට සහ ඉන්ධන මිලට සෘජුව බලපාන බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
ප්‍රකාශක එස්මයිල් බගේයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අමෙරිකාව සමඟ ඇතිකරගන්නා ඕනෑම ගිවිසුමක් සම්බන්ධයෙන් ඉරානය සම්පූර්ණ විශ්වාසයක් තබා නොමැති බවයි.
එමෙන්ම, ඉරානය සහ අමෙරිකාව අතර එකඟතාවක් ඇතිවීම වැළැක්වීම සඳහා Israel හැකි සෑම උත්සාහයක්ම ගනු ඇති බවද ඔහු චෝදනා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිහිපයක් පැවැත්වී ඇති අතර, ඒවායේදී න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් පිළිබඳවද අවධානය යොමුව තිබූ බවයි.
එම සාකච්ඡාවලදී දින 60ක සටන්විරාමයක් දීර්ඝ කිරීම, හෝමුස් සමුද්‍රසන්ධිය යළි සම්පූර්ණයෙන් විවෘත කිරීම සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම වැනි කාරණාද ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, දින 30ක් ඇතුළත හෝමුස් සමුද්‍රසන්ධිය යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක්ද මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්ව තිබේ.
ඒ සමඟම, ඉරානයට කිසිදු අවස්ථාවක න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉඩ නොදෙන බවටද මෙම සාකච්ඡාවලදී අවධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම, විදේශ බැංකු තුළ අවහිර කර ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම සහ බලගැන්වූ යුරේනියම් සංචිත සම්බන්ධ අවසන් එකඟතාවකට පැමිණීමට තවත් කාලයක් ගතවනු ඇති බවද සඳහන් වේ.
මේ අතර, මැදපෙරදිග කලාපයේ තත්ත්වය සම්පූර්ණයෙන් ස්ථාවර වනතුරු අමෙරිකානු යුද බලඇණි සහ නාවික හමුදා කලාපය තුළ සක්‍රීයව පවත්වාගෙන යාමට එක්සත් ජනපදය සූදානම් බවද වාර්තා වේ.
ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා සාර්ථක වුවහොත් ගෝලීය ඉන්ධන වෙළෙඳපොළට සහ ආර්ථිකයට යම් සහනයක් ලැබිය හැකි බවයි.
නමුත්, මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ යුදමය අවදානම් තවමත් අවසන් වී නොමැති බැවින්, ඉදිරි සති කිහිපය ලෝක වෙළෙඳපොළ සඳහා ඉතා තීරණාත්මක වනු ඇතැයිද ඔවුන් අනතුරු අඟවයි.



