ඉරානය විසින් එල්ල කළ බව කියන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කුවේට් ගුවන් ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර තිබේ.
කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, අදාළ බලධාරීන් සමඟ සිදුකළ සම්බන්ධීකරණයෙන් අනතුර තුරන් වී ඇති බව තහවුරු කිරීමෙන් අනතුරුව අද (28) පෙරවරු 6.15 සිට ගුවන් ගමනාගමනය යළි ආරම්භ කළ බවයි.
ආරක්ෂක හේතු මත කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් Kuwait Airways සහ Jazeera Airways සමාගම්වලට අයත් ගුවන් ගමන් 11ක් ආසන්න රටවල ගුවන්තොටුපළ වෙත හරවා යැවීමටද සිදුව තිබුණි.
මීට පෙර කුවේට් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, ඉරානයෙන් එල්ල වූ බවට සැලකෙන මිසයිල සහ ඩ්‍රෝන තර්ජනවලට එරෙහිව එරට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවයි.
පසුගිය මාස කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස උණුසුම් වී ඇති අතර, අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් කලාපීය ස්ථාවරත්වයටද බලපෑම් එල්ල වී තිබේ.
එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන නාවික ගමනාගමනයටද බාධා එල්ල වීම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ පිළිබඳ අවධානයද ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර, කලාපීය අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලබාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුවේට් බලධාරීන් පවසන්නේ, ගුවන් ගමනාගමන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.



