NDB බැංකුවේ සිදුව ඇති බව කියන රුපියල් බිලියන 13කට අධික මූල්‍ය වංචාවේ මුදල් Cryptocurrency හරහා සැඟවීමට උත්සාහ කර ඇතිද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, එවැනි තොරතුරු මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි.

ඔහු සඳහන් කළේ, මුදල් බැංකු පද්ධතියෙන් පිටතට ගිය පසු ඒවා හුවමාරු වූ ආකාරය සොයා බැලීම පොලිස් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල කාර්යභාරයක් බවයි.

“බැංකු පද්ධතියෙන් පිටතට ගිය මුදල් පසුව කොහොම හුවමාරු වුණාද කියන එක සොයාබැලීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අයත් කාරණයක්,” යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

එමෙන්ම Cryptocurrency හරහා මුදල් ගමන් කළහොත් ඒවා සොයා ගැනීම ඉතා අපහසු වන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන වෝහාරික විගණනයේදීද ඒ පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ, Cryptocurrency ගනුදෙනු blockchain තාක්ෂණය මත සිදුවුවද, ඇතැම් අවස්ථාවල ගිණුම් හිමියන්ගේ සැබෑ අනන්‍යතාව සැඟවීමට භාවිත කළ හැකි බැවින් ජාත්‍යන්තර මූල්‍ය අපරාධ සහ මුදල් විශුද්ධිකරණ සිද්ධීන්හිදී එවැනි ක්‍රම භාවිත වීමේ අවදානමක් පවතින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෝහාරික විගණන කණ්ඩායම් එක්ව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින අතර, මුදල් ගමන් කළ ආකාරය සොයා ගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර මූල්‍ය දත්ත විශ්ලේෂණය කරන බවද වාර්තා වේ.

රුපියල් බිලියන 13කට අධික බව කියන මෙම මූල්‍ය වංචාව මෙරට බැංකු ක්ෂේත්‍රයේ වාර්තා වූ විශාලතම මූල්‍ය අපරාධ අතරට එක්ව ඇති බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.