ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට විශාල පෙරළියක් ඇති කරමින් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් පද්ධතියක් වන PayPal සේවාව මෙරට බැංකු පද්ධතිය සමඟ එක්ව නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (15) මෙම සේවාව දියත් කිරීම සිදු වූ අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සඳහා මෙය සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම නව සහයෝගීතාවය යටතේ ආරම්භක අදියරේදී ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව හරහා PayPal සේවාව මෙරට පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිත අතර, ඉදිරියේදී තවත් බැංකු රැසක්ද මෙම පද්ධතිය සමඟ එක්වීමට අපේක්ෂා කෙරේ.
මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා මුදල් යැවීමේ හැකියාව පමණක් තිබූ අතර, විදේශයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේ පහසුකම නොතිබීම හේතුවෙන් Freelancers, IT සේවා සපයන්නන්, Online ව්‍යාපාරිකයන් සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්ට විශාල අපහසුතා රැසකට මුහුණදීමට සිදුව තිබිණි.
නව පද්ධතිය හරහා ශ්‍රී ලංකාවේ නිදහස් වෘත්තිකයන්, Startups, E-commerce ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර ගෙවීම් වඩාත් ආරක්ෂිත, වේගවත් සහ පහසු ආකාරයෙන් සිදුකරගැනීමේ අවස්ථාව හිමිවන බව රජය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම Upwork, Fiverr, Freelancer.com වැනි ජාත්‍යන්තර වේදිකාවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙම පියවර විශාල සහනයක් වනු ඇති බව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අදහස වී ඇත.
රජය සඳහන් කරන්නේ, මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකය සමඟ වඩාත් සෘජුව සම්බන්ධ කරමින් විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට උපකාරී වන බවයි. එමෙන්ම ඩිජිටල් සේවා අපනයනය ඉහළ දැමීම සහ තරුණ ව්‍යවසායකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් ලෙස දක්වා ඇත.
PayPal ආයතනයද සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ගෝලීය වෙළෙඳපොළට සුදුසු දක්ෂ Freelancers සහ තාක්ෂණික ව්‍යවසායකයන් විශාල පිරිසක් සිටින බවයි.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, PayPal සේවාව සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් මෙරටට හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය පද්ධතිය නව මට්ටමකට ගෙනයන වැදගත් පියවරක් වනු ඇති බවයි.



