කළු මුහුදට ඉහළ ජාත්‍යන්තර ගුවන් සීමාවේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් අවි රහිත නිරීක්ෂණ යානයකට රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉතා අවදානම් සහගත ලෙස බාධා කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කර තිබේ.

මෙම සිදුවීම පසුගිය මාසයේදී වාර්තා වී ඇති අතර, එය 2022 වසරෙන් පසු රුසියාව විසින් සිදුකළ වඩාත්ම භයානක ගුවන් මැදිහත්වීම් අතරින් එකක් ලෙස බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයට අයත් “RC-135W Rivet Joint” වර්ගයේ ඔත්තු බැලීමේ සහ විද්‍යුත් සංඥා නිරීක්ෂණ යානයක් සිය සාමාන්‍ය මෙහෙයුමක නිරතව සිටියදී රුසියානු “Su-35” ප්‍රහාරක ජෙට් යානයක් එයට ඉතා ආසන්නව පියාසර කර ඇති බව වාර්තා වෙයි.

ඒ තරම් සමීපව එම යානය පැමිණ තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍ය යානයේ හදිසි අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වී ඇති අතර, ස්වයංක්‍රීය නියමු පද්ධතියද තාවකාලිකව අක්‍රීය වූ බව සඳහන්ය.

මීට අමතරව තවත් රුසියානු “Su-27” ප්‍රහාරක ජෙට් යානයක් බ්‍රිතාන්‍ය යානයේ ඉදිරිපසින් මීටර් හයක් වැනි අතිශය භයානක දුරකින් හය වතාවක් පියාසර කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි මහතා ප්‍රකාශ කළේ රුසියානු නියමුවන්ගේ හැසිරීම “අවදානම් සහ පිළිගත නොහැකි” ක්‍රියාවක් බවයි.

එමෙන්ම මෙම තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කාර්ය මණ්ඩලය ඉතා වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කළ බවද ඔහු ප්‍රශංසා කළේය.

“ජාත්‍යන්තර ගුවන් සීමාවේ පියාසර කළ අවි රහිත යානයකට එරෙහිව මෙවැනි ආක්‍රමණශීලී ක්‍රියා සිදු කිරීම බරපතළ අනතුරු සහ තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් ඇති කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ එක්ව ලන්ඩනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සහ නිල ප්‍රතිචාරයක් ඉල්ලා තිබේ.

ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, රුසියාව සහ නේටෝ රටවල් අතර ගුවන් හා නාවික ආතතීන් පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන් කළු මුහුද සහ උතුරු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල රුසියානු යුද ගුවන් යානා සහ සබ්මැරීන ක්‍රියාකාරකම් ඉහළ යාම බටහිර රටවල් දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරමින් සිටී.

මීට පෙර 2022 වසරේදීද රුසියානු ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍ය “Rivet Joint” යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බව වාර්තා විය. එම අවස්ථාවේදී රුසියාව එය “තාක්ෂණික දෝෂයක්” බව ප්‍රකාශ කළද, පසුව බටහිර ආරක්ෂක අංශ සඳහන් කළේ එය වැරදි නියෝගයක් හේතුවෙන් සිදුවූ සැබෑ ප්‍රහාර උත්සාහයක් බවයි.

“RC-135W Rivet Joint” යානය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ අංක 51 බලඝණය මඟින් ක්‍රියාත්මක කරන අති නවීන බුද්ධි තොරතුරු නිරීක්ෂණ යානයකි. එහි ඇති සංවේදක පද්ධති මඟින් විද්‍යුත් සංඥා සහ ගුවන් ක්‍රියාකාරකම් real-time ආකාරයෙන් හඳුනාගෙන විශ්ලේෂණය කිරීම සිදු කරයි.

විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ, මෙවැනි ආක්‍රමණශීලී ගුවන් මැදිහත්වීම් අනාගතයේදී විශාල ජාත්‍යන්තර ආරක්ෂක අර්බුදයකට මග පාදනු ඇති බවයි.