ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ සහ පවුල් සබඳතා සම්බන්ධයෙන් නව නීති රැසක් හඳුන්වා දී ඇති අතර, එය ජාත්‍යන්තර අවධානයට සහ දැඩි විවේචනයට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වැඩිවියට පත් කන්‍යා දැරියකගෙන් විවාහය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඇය නිහඬව සිටියහොත් එය “කැමැත්ත” ලෙස සලකා විවාහය සිදු කිරීමට නීතියෙන් අවසර ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත්, එම නීතිය අනුව පිරිමි ළමයෙකු හෝ කලින් විවාහ වූ කාන්තාවක නිහඬව සිටීම කැමැත්තක් ලෙස පිළිගැනෙන්නේ නොමැති බවද සඳහන් වේ.

නව නීති මගින් පියවරුන්ට සහ සීයලාට බාලවයස්කාර දරුවන්ගේ විවාහ කටයුතු තීරණය කිරීමේ වැඩි බලයක් හිමිවන බවද වාර්තා වෙයි.

එමෙන්ම, ළමා වියේදී සිදුකරන ලද විවාහයක් පසුව අවලංගු කිරීමට ඉල්ලීමක් කළ හැකි වුවද, ඒ සඳහා තලේබාන් අධිකරණයක අනුමැතිය අනිවාර්ය කර තිබීමද මානව හිමිකම් සංවිධානවල අවධානයට ලක්ව ඇත.

මෙම නීති මාලාව තලේබාන් පාලනය යටතේ කාන්තාවන් සහ දැරියන් සඳහා පනවා ඇති සීමා තවදුරටත් දැඩි කිරීමක් ලෙස විචාරකයින් පෙන්වා දෙයි. පසුගිය කාලය තුළ කාන්තා අධ්‍යාපනය, රැකියා සහ පොදු ජීවිතයට සහභාගී වීම සම්බන්ධයෙන්ද තලේබාන් පාලනයට ජාත්‍යන්තර විවේචන එල්ල වී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, දරුවන්ට විවාහයක් සඳහා නිසි කැමැත්ත ප්‍රකාශ කිරීමට අවශ්‍ය මානසික සහ සමාජීය පරිණතභාවය නොමැති බවයි.

විශේෂයෙන්ම “නිහඬතාවය කැමැත්තක්” ලෙස සැලකීම දැරියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, එය බලහත්කාර විවාහ සඳහා මාර්ග විවෘත කළ හැකි බවත් ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවයි.

මේ අතර, මෙම නීති හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් පෙන්වා දෙයි.