කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ බව පැවසෙන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රධාන පර්යන්තයේ (Terminal 1) නඩත්තු කටයුතුවල නිරතව සිටියදී මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිලිවල වීදුරු බිඳී ගොස් ඇති අතර, එම වීදුරු කැබලි වැටීමෙන් ඔවුන්ගේ හිස සහ ශරීරයේ විවිධ කොටස්වලට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් අනතුරුව තුවාල ලැබූ පිරිස වහාම රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ලක්ෂිත රත්නායක මහතා සහ කම්කරු අංශයේ ප්‍රධානී එම්.ආර්.සී.බී. ඒකනායක මහතා රෝහල වෙත ගොස් තුවාලකරුවන්ගේ සුවදුක් විමසා බැලූහ.

තානාපතිවරයා සඳහන් කර ඇත්තේ තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන අතර, ඉදිරි දින කිහිපය තුළ රෝහලෙන් පිටව යාමට හැකි වනු ඇති බවයි.

මේ අතර, කුවේට්හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, කුවේට් රජය සහ ආරක්ෂක අංශ විසින් නිකුත් කරන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින ලෙසත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් අතර ගුවන්තොටුපොළ සේවකයින්, ගුවන් මගීන් සහ සිවිල් වැසියන් ද සිටින බව සඳහන් වේ.

අනතුරුව හදිසි ප්‍රතිචාර සේවා ක්‍රියාත්මක කරමින් ගිලන් රථ 25ක් පමණ ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇති අතර, බරපතළ හිසේ තුවාල, පිපිරීම්වලින් සිදුවූ තුවාල සහ වීදුරු හා සුන්බුන් හේතුවෙන් ඇති වූ තුවාල රැසක් වාර්තා වී තිබේ.

කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වැදගත් යටිතල පහසුකම් සහ රාජ්‍යතාන්ත්‍රික ස්ථාන කිහිපයකටද හානි සිදුව ඇති බවයි.

මෙම සිදුවීමත් සමඟ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව ඇති අතර, ගල්ෆ් කලාපයේ වර්ධනය වන ආතතිය විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සැලකිලිමත් විය යුතු තත්ත්වයක් නිර්මාණය කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම මැදපෙරදිග රටවල සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ විදේශ තානාපති කාර්යාල නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.