2024 සහ 2025 වර්ෂ දෙක තුළ බස්නාහිර පළාතේ සිසුන් දහසකට අධික පිරිසක් අතරමග පාසල් හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (19) මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
ඒ අනුව 2024 වසරේ පාසල් නොයන ළමුන් 711 දෙනෙකු සහ 2025 වසරේ ළමුන් 885 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම 2024 වසරේ සිසුන් 597 දෙනෙකු පාසල් හැරගොස් ඇති අතර, 2025 වසරේ එම සංඛ්‍යාව 301ක් ලෙස වාර්තා වී තිබේ.
නැවත පාසල් ගත කළ දරුවන් සංඛ්‍යාව 2024 දී 309ක් සහ 2025 දී 210ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අංශ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ආර්ථික අපහසුතා, පවුල් ගැටලු, ප්‍රවාහන දුෂ්කරතා සහ සමාජීය බලපෑම් පාසල් හැරයාමේ ප්‍රධාන හේතු අතරට ඇතුළත් වන බවයි.
විශේෂයෙන්ම පවතින ආර්ථික පීඩනය හේතුවෙන් ඇතැම් දරුවන් අධ්‍යාපනය අත්හැර රැකියාවල නිරත වීමට හෝ පවුල් ආදායමට දායක වීමට යොමුවන තත්ත්වයක් පවතින බවද සඳහන් වේ.
මේ අතර, පාසල් හැරගිය දරුවන් නැවත අධ්‍යාපන පද්ධතියට එක්කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



