කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ අසල්වැසි උගන්ඩාව ඉලක්ක කර ගනිමින් විවිධ රටවල් විසින් පනවා ඇති සංචාරක සීමා කිරීම් පිළිබඳව නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා ලෝක රටවලින් ඉල්ලීමක් කර තිබේ.

නැගෙනහිර කොංගෝවේ ඉබෝලා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන බුනියා නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු පෙන්වා දුන්නේ සංචාරක සීමා පැනවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය සහ විනිවිදභාවය පළුදු විය හැකි බවයි.

වසංගත මර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා මෙම කරුණු දෙකම අත්‍යවශ්‍ය වන බවද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ වෛරසය පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයන් ගනිමින් සිටින බව සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත අනුව, කොංගෝ රාජ්‍යය තුළ සැකකටයුතු ඉබෝලා ආසාදිතයන් 906 දෙනෙකු සහ සැකකටයුතු මරණ 223ක් වාර්තා වී ඇත.

අසල්වැසි උගන්ඩාවේද ආසාදිතයන් 9 දෙනෙකු සහ එක් මරණයක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ව්‍යාප්තිය සිදුවන්නේ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) නම් ඉබෝලා වෛරස් ප්‍රභේදය මඟින් බවයි.

මෙම ප්‍රභේදය සඳහා දැනට අනුමත කර ඇති සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම සෞඛ්‍ය බලධාරීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවද සඳහන් වේ.