ශ්‍රී ලංකාවේ මේ වනවිට තැලසීමියා රෝගීන් 2500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර පිරිසක් “මහා තැලසීමියා” තත්ත්වය සමඟ උපත ලබන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා පවසන්නේ, ඉදිරි වසරවලදී මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

තැලසීමියා යනු දෙමව්පියන්ගෙන් දරුවන්ට ජාන මඟින් සම්ප්‍රේෂණය වන රුධිර රෝගයක් වන අතර, ශරීරයේ සාමාන්‍ය රුධිර හීමොග්ලොබින් නිෂ්පාදනයට බලපෑම් එල්ල කරයි.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, තැලසීමියා වාහකයන් දෙදෙනෙකු විවාහ වුවහොත් ඔවුන්ගේ දරුවන්ට “මහා තැලසීමියා” රෝගය ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.

ඒ හේතුවෙන් විවාහයට පෙර තැලසීමියා පරීක්ෂණය සිදුකර ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

“මහා තැලසීමියා” තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට ජීවිත කාලය පුරාම නිරන්තර රුධිර පාරවිලයනය සහ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වන අතර, එය රෝගීන්ට මෙන්ම සෞඛ්‍ය පද්ධතියටද විශාල ආර්ථික බරක් වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

දැනට රජයේ රෝහල්වල රෝගීන්ට රුධිර පාරවිලයනය ඇතුළු ප්‍රතිකාර නොමිලේ ලබාදෙන අතර, රෝගය වැළැක්වීම සඳහා පාසල් මට්ටමේ පරීක්ෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර දැනුවත්භාවය ඉහළ නැංවීම, විවාහයට පෙර රුධිර පරීක්ෂණ ප්‍රවර්ධනය කිරීම සහ ජානමය රෝග පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම මඟින් තැලසීමියා රෝගී උපත් අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.